Wednesday, May 22, 2013 |
 

සංවර්ධනයේ මං අහුරන බලශක්ති අර්බුදයට විසැඳුමක්

2010-03-04
සංවර්ධනයේ මං අහුරන බලශක්ති අර්බුදයට විසැඳුමක්
රටක සංවර්ධන ක්‍රියාදාමයේ හර සාධකයක් වන්නේ බලශක්තියයි. සංවර්ධනයේ සජීවිකරණය සඳහා බලශක්තීන් රටකට අත්‍යවශ්‍යය. සමස්ත ආර්ථිකයේ සක්‍රීය ක්‍රියාකාරිත්වය විදුලිබලය මත රඳාපවතින බවට රුසියානු නායක වී. අයි. ලෙනින් පැවසුවේ ඒ නිසාම විය යුතු ය. ලෙනින් ගේ කියමන සියලු රටවලට පොදු සත්‍යයකි. බලශක්ති උත්පාදන ක්‍රියාවලින් පිළිබඳව මීට පෙර පාලකයන් තුළ තිබුණේ අල්පේච්ඡ හැඟීමකි. ඒ නිසා විදුලිබල අර්බුදයට පිළියම් නොලැබුණි. විදුලිබල අර්බුදයට පිළියමක් නොදී සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා නොහැකිය. 1977 සිට 1989 දක්වා වූ කාලපරිච්ඡේදයේ ක්‍රියාත්මක වූ මහවැලි යෝජනා ක්‍රමය යටතේ වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ හා කොත්මලේ යන ජලවිදුලි බලාගාරවලින් ජාතික විදුලිබල පද්ධතියට එකතු වූයේ මෙගාවොට් 660 කි.
ඒ ධාරිතාවය ද සමඟ ජාතික විදුලිබල පද්ධතිය සතු මෙගාවොට් 1207 ක ධාරිතාවට ලං.වි.ම. තාප විදුලි බලාගාරය සතු මෙගාවොට් 529 ක ධාරිතාවක්, පුද්ගලික තාප විදුලි බලාගාර සතු මෙගවොට් 667 ක ධාරිතාවක් එක්වීමෙන් සමස්ත විදුලි ධාරිතාව මෙගාවොට් 2406 කි. මෙය මේ රටේ සමස්ත විදුලිබල අවශ්‍යතාවය සපුරාලීමට ප්‍රමාණවත් නොවීය. එමෙන්ම මෙහිදී වාර්ෂිකව විදුලි ඉල්ලුමට 10% ක් එක්වන බවත් අමතක නොකළ යුතු ය.

මෙයින් මේ රටේ විදුලිබල ඉල්ලුම හා පැවතුණු අර්බුදය පිළිබඳ යම් වැටහීමක් ලබාගත හැකිය. මේ ඉල්ලුම සපුරාලීමට තව තවත් ජල විදුලි බලාගාර ආරම්භ කිරීම දුෂ්කර වන්නේ ඊට අත්‍යවශ්‍ය ජල පෝෂිත හිඟවීමයි. රටේ සමස්ත විදුලිබල ඉල්ලුම ඒ අනුව ජල විදුලි බලාගාරවලින් සපුරාලිය නොහැකිය. ඒ නිසා විකල්ප වශයෙන් ඩීසල් වැනි විකල්ප බලශක්ති ප්‍රභව කරා යොමුවීමට සිදුවිය.

එහෙත් මෙය තවත් අර්බුදයක එක්කොණක් වී ඇති බව 2000 වසරේදී අවබෝධ විය. එනම් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 20 ක් වැනි අඩු මිලකට තිබූ අවදිය නිමා වී බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 148 දක්වා මිල ඉහළ යාම ය. මෙය ශ්‍රී ලංකාව වැනි ඛනිජ තෙල් නිෂ්පාදනය නොකරන රටවලට තදින්ම දැනෙන්නක් විය. ඒ නිසා ශ්‍රී ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටවලට ආනයනික ඛනිජතෙල්වලින් වැඩි ප්‍රතිශතයක් විදුලිබල නිෂ්පාදනය සඳහා යෙදවීම තවත් ආර්ථික අර්බුදයකට මඟපාදන්නකි.

ශ්‍රී ලංකාව මෙයට මුහුණ දුන්නේ කෙසේ ද? 1990 දශකයේ ඉදිකිරීමට සැලසුම් කළ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාර හා ඉහළ කොත්මලේ බලාගාර ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටයුතු දේශපාලනික හා වෙනත් පරමාර්ථ නිසා ප්‍රමාද විය. 2002 2004 කාලපරිච්ඡේද තුළ දිනකට පැය 5 6 ක් අතර කාල ප්‍රමාණයක විදුලි කප්පාදුවකින් ප්‍රශ්න මගහැරී යා හැකි යැයි සිතෙන්නට ඇති. එහෙත් මේ කප්පාදුව නිසා සමාජයට පමණක් නොව රටේ ආර්ථිකයේ සක්‍රීය ක්‍රියාවලියටද එල්ල වූයේ ප්‍රබල බලපෑමක්. එය දේශපාලනික වශයෙන් බලපෑමක් එල්ල වූ බව නොරහසකි.

හුදෙක් සැලසුම්වලට පමණක් සීමාව, දේශපාලන වෙනත් බලවේගවල අතකොළුවක්ව තිබූ ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය හා නොරොච්චෝල, ගල්අඟුරු බලාගාරය මහින්ද චින්තන ප්‍රතිපත්තිය යටතේ ආරම්භ වූයේ මෙහි වටිනාකම මැනවින් වටහාගනු ලැබූ නිසායි.

දස අවුරුදු බලශක්ති සංවර්ධන සැලැස්මක් හරහා දිගුකාලීන මධ්‍යකාලීන හා කෙටිකාලීන සැලසුම් යටතේ විදුලි ජනනය, සම්පේ‍්‍රෂණය, බෙදාහැරීම ආදිය කාර්යක්ෂම කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් 2008 වසරේ ඇතිවීමට තිබූ බලශක්ති අර්බුදය ජයගැනීම රජයේ ප්‍රධාන ඉලක්කයක් විය. ඒ අනුව කෙටිකාලීන ඉලක්කයක් ලෙස කෙරවලපිටිය ද්විත්ව චක්‍රීය තාප විදුලි බලාගාරය ඉදිකිරීම ඇරැඹිණි.

මෙය කෙටිකාලීන සැලසුමක් බව සඳහන් කළ ද මෙහි ප්‍රතිඵල සමස්ත ජාතියේම දැවැන්ත ඉදිරි පිම්මකි. මෙහිදී අමතක නොකළ යුතු කරුණකි. එදා කෙරවලපිටිය බලාගාරය ඉදිකිරීමේදී බලශක්ති අර්බුදයට වඩා අර්බුද ඇති කිරීමට විවිධ පාර්ශ්වයන් උත්සුක විය.

ඒ සියලු චෝදනා හා විවේචන හරහා පන්නරය ලබමින් කලාගාරයේ කටයුතු තවදුරටත් දියත්විය. ඒ බලවේග හමුවේ එදා බලාගාරයේ කටයුතු අතහැර දැමුවේ නම් රටේ විදුලිබල අවශ්‍යතාවයෙන් 20% ක් එක්නොවෙනු ඇත. ආසියාවේ දැවිතෙල් ආශ්‍රිතව විදුලිය නිපදවන එකම බලාගාරය ලංකාවට හිමි නොවනු ඇත.

මේ බලාගාරයේ ඇති සුවිශේෂත්වය වන්නේ පරිසරයට ඉතා අඩුම සල්ෆර් ප්‍රමාණය මුදාහැරෙන නිසාය. කෙරවලපිටිය තාපබලාගාරයට මේ වනවිට ජාත්‍යන්තර පාරිසරික හා උසස් ප්‍රමිති සම්මාන ගණනාවක් දිනා ගැනීමට සමත්ව ඇත. කෙරවලපිටිය තාප බලාගාරය ශ්‍රී ලංකාවට අභිමානයක් වන්නේ ඒ කරුණු නිසාම පමණක් නොවෙයි.

දේශීය ඉංජිනේරු ශිල්පයේත් දේශීය මූල්‍ය දායකත්වයෙත් අභිමානය මෙහි මුසුව ඇති බැවිනි. මෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 308 කි. මේ ව්‍යාපෘතිය සඳහා දේශීය වශයෙන් මහා භාණ්ඩාගාරය, සේවක අර්ථසාධක අරමුදල, ලෙකෝ ආයතනය, ලක්දනවි සමාගම දේශීය වශයෙන් දායකත්වය දරා ඇති අතර විදේශීය ආධාර ලෙස යූරෝ මිලියන 152 ක්ද ලැබී තිබේ.

කෙසේ වෙතත් කෙරවලපිටිය තාප විදුලි බලාගාරයේ පළමු අදියර යටතේ ;මගාවොටි 200 ක ධාරිතාවයක් පසුගිය වසරේ ජාතික විදුලිබල පද්ධතියට එක්විය. බලශක්ති අර්බුදය යම් තරමින් සංසිඳෙමින් පවතිද්දි ඒ ඇසුරින් සමාජමය අර්බුද ඇති කිරීමට ඇතැම් පිරිස් කටයුතු කළේය. එනම් එම බලාගාරයේ නිපදවෙන විදුලි ඒකකයක මිල ඉහළ බවට දේශපාලන මතවාදයක් ඇතිවීමයි.

එහෙත් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල පහළ යාමත් සමඟ විදුලි ඒකකයක මිල පාලනය කර ගැනීමට අවස්ථාව උදාවිය. එමෙන්ම බලාගාරයේ දෙවැනි අදියර යටතේ කිසිදු නිෂ්පාදන වියදමකින් තොරව මෙගාවොට් 110 ක විදුලි ධාරිතාවක් වාෂ්ප බලයෙන් නිපදවීමට ලැබීම මෙහි තවත් ආර්ථික වාසියක් විය. ඒ අනුව ප්‍රථම අදියරෙදී රුපියල් 30 දක්වා ඉහළ ගිය විදුලි ඒකකයේ මිල දෙවන අදියරින් පසු රුපියල් 12.00 14.00 ත් දක්වා අඩු කිරීමට හැකිවිය.

මෙයින් විදුලිබල මණ්ඩලය වර්ෂයකට රුපියල් මිලියන 19 ක ඉතිරියක් ලැබුවේය. මෙයින් සමස්ත ජාතියටම ලැබුණු අනෙක් වාසිය නම් වාර්ෂිකව ජාතික විදුලිබල පද්ධතියට විදුලි ඒකක දස ලක්ෂ 1800 ක් එක් කරමින් ජාතික විදුලිබල ඉල්ලුමෙන් 20% ක් සපුරාලීමට හැකිවීමය.