Sunday, May 19, 2013 |
 

'දිවි නැඟුම' දෙවැනි අදියර අද බියගම ඔබවත්තෙන් ඇරැඹේ...!

2011-10-27
'දිවි නැඟුම' දෙවැනි අදියර අද බියගම ඔබවත්තෙන් ඇරැඹේ...!
ඉසුරුමත් නිවහනක් ...! අසිරිමත් මව්බිමක් ...!! බිහි කිරීමේ තේමාව පෙරදැරිව දිවි නැඟුම ජාතික ව්‍යාපාරයේ දෙවැනි අදියර අද (27) උදේ 9.59 ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාව බලා මුළු රට පුරාම එළවළු, පළතුරු ප්‍රමුඛ භෝග වගා කොට ආරම්භ කෙරේ.

දිවිනැඟුම ජාතික ව්‍යාපාරය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ යෝජනාවක් අනුව මේ වසරේ මාර්තු 12 වැනිදා රට පුරා ආරම්භ කැරිණි. ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා මේ ජාතික ව්‍යාපාරය රටපුරා සාර්ථකව ක්‍රියාත්මක කරවීමට මහත් වෙහෙසක් ගෙන කටයුතු කරනු ලබයි. දිස්ත්‍රික් මට්ටමින්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින්, දේශපාලන අධිකාරියේ, රාජ්‍ය නිලධාරීන්ගේ හා මහජනතාවගේ සහභාගිත්වයෙන් අද මුළු රටේම එකම මොහොතකදී වගා කටයුතු ඇරඹීම විශේෂත්වයකි.

දිවි නැඟුම මුල් අදියර යටතේ රට පුරා පවුල් ලක්‍ෂ 15 ක පිරිසක් සහභාගි කරවා ගෙවතු ආරම්භ කළ අතර, දෙවැනි අදියර යටතේ පවුල් ලක්‍ෂ 21කට වගාවට අවශ්‍ය එළවළු, පළතුරු, දීර්ඝකාලීන භෝග යනාදිය නොමිලේ ලබා දී ඇත. ආර්ථික සංවර්ධන ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද බියගම ආසනයේ, හෙයියන්තුඩුව, ඔබවත්ත පුරාණ මහා පිරිවෙන අභියසදී ගෙවතු වගා ව්‍යාපාරය ආරම්භ කෙරේ.

ගෙවතු වගාවන්ට අමතරව දිවි නැඟුම ජාතික ව්‍යාපාරය හරහා පශු සම්පත් හා ධීවර මෙන්ම ගෘහ ආශ්‍රිත කර්මාන්ත ආරම්භ කොට ජීවනෝපාය වැඩි දියුණු කර ගැනීමට ද මෙවර පවුල් ලක්‍ෂ 21 කටම පහසුකම් සපයා ඇත.

ජනතාවට අඩු වියදමින් තමන්ට අවශ්‍ය ඵළවළු, පළතුරු නැවුම් හා පෝෂ්‍යදායිව ලබා ගැනීමට මඟ පෑදීම, ජීවන වියදම අඩුකර ගැනීමට උදව් කිරීම, මෙන්ම ආහාර අතින් රටේ සුරක්‍ෂිතභාවය ඉහළ නැංවීම ගෙවතු වගාවේ අරමුණ වී තිබේ.

මුළු රට පුරා සෑම දිස්ත්‍රික්කයකම, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම පමණක් නොව ගම්මාන මට්ටමින් අද මේ ගෙවතු වගා වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි. මහා සංඝරත්නය, අන්‍ය ආගමික නායකයින්ගේ, මහජන නියෝජිතයින් හා රාජ්‍ය පෞද්ගලික අංශ නිලධාරීන් හා මහජනතාව මේ ව්‍යාපාරයට දැඩි උනන්දුවකින් එක්වී සිටිති. අද එම පිරිස් උත්සවශ්‍රීයෙන් දිවිනැගුම ජාතික ව්‍යාපාරයේ දෙවැනි අදියර ඇරඹීම අනාගත සංවර්ධිත ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ එක් යෝධ පියවරක් වනු ඇත.

.